දිවි කදුරු (Eve’s Apple | Dhivi Kadhuru)

දිවි කදුරු
ශාකයේ නම දිවි කදුරු | Dhivi Kadhuru
වෙනත් නම්
ඉංග්‍රිසි නම් Eve’s Apple
විද්‍ය‍ාත්මක නම Tabernaemontana dichotoma
කුලය Apocynaceae

දේශීය කදුරු විශේෂ කීපයෙන් එකක් වන දිවි කදුරු මීටර් 6ක් පමණ උසට වැඩෙන බහුවාර්ෂික ශාකයකි. සම්මුඛව පිහිටා ඇති පත්ර සෙ.මි. 8-21 දක්වා දිගය. දිගු නටුවක් සහිත වතුසුදු මලට සමාන සුදු පැහැති මල් සුවඳවත් ය. පොකුරක මල් 5-6 පමණ පිහිටයි. දිග නටුවකින් එල්ලෙමින් පවතින කොළ පැහැති ඵලය ඉදුණු පසු තැඹිලි පාටට හුරු කහ පැහැයක් ගනී. එය තිරස් අතට පෘෂ්ඨය හා උදරීය දාර දිගට ද දෙකට ද බෙදී ඇත. රතු පැහැති පල්පයක් තුල බීජ පිහිටා තිබේ. මෙම බීජ මගින් ව්යප්ති සිදුවේ. දිවිකදුරු Apocynaceae කුලයට අයත් ශාකයකි.

දිවිකදුරු ගස් යටින් යකුන් හෝ සර්පයන් ගමන් නොකරන බව ගැමියන්ගේ විස්වාසයකි. මේ ගසේ කදේ ලීය දකුණේ වෙස් මුහුණු කැපිමට යොදා ගනී. උඩරට නැටුම් ශිල්පීන්ගේ වෙස් පළදනා සෑදීමටද යොදා ගනී. දකුණේ ශාන්ති කර්ම, විස කැපිලි ආදියට දිවි කදුරු අතු භාවිතා කරයි. යන්ත්ර මන්ත්ර හදි හූනියම් ගුරුකම් ආදියට ගසේ කොටස් භාවිතා කරයි.

දිවිකදුරු ශාක කොටස් විස සහිතය. නමුත් ඹෟෂධයකි. ශරිරයට අභ්යන්තරව භාවිතා නොකරයි. තුවාල, සර්ප දෂ්ට, දිවිමකුළු විසට, පත්තෑ විසට, බල්ලන් සපා කෑ තුවාල වලට, වණ, දත් කැක්කුමට, ඇස් රෝග, සන්ධිගත රෝගවලට, ස්නායු රෝගවලට ගසේ කොළ, පොතු හා මුල් බාහිරව භාවිතා කරයි.

මේ කොළ පොල් තෙල් පහනක රත්කර තැවීමෙන් සන්ධිගත රෝගවලට සහන ලැබේ. කකුලේ ඇණුන කටු ඇද්ද වීමට කොළ කඩා එයින් නටුවෙන් වැස්සෙන කිරි දමයි. පසුව කටුව පිටතට ඇදී එයි. මෙහි ගෙඩි මිනිසාට විස සහිතය. ඒවා මත් වන හා විරේචක ගුණයෙන් යුක්ත බව කියයි.

Share