මඟුල් කරඳ (Pongame Oiltree | Karandha)

මඟුල් කරඳ
ශාකයේ නම කරඳ | Karandha
වෙනත් නම් චිරබිල්ව, ලාජා පුෂ්ප, නත්තමාල
ඉංග්‍රිසි නම් Pongame oiltree, Indian beech
විද්‍ය‍ාත්මක නම Millettia pinnata
කුලය Fabaceae

කරඳ යනු දේශීය වෙදකමේ ඉතා ඉහළින් පිළිගැනෙන ඖෂධීය ශාකයකි. සංස්කෘත බසින් ලියවුන වෙද පොත්වල මඟුල් කරඳ, චිරබිල්ව, ලාජා පුෂ්ප, නත්තමාල යන නම්වලින් හදුන්වා ඇති බව සදහන් ය. කරඳ ශාකයේම තවත් ප්‍රභේධයක් වන කුණු කරඳ පූති කරන්ජ, ප්‍රකීර්ය, කලී මාරකා යන නම් වලින් හදුන්වා ඇත. Millettia pinnata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මඟුල් කරඳ අයත් වන්නේ Fabaceae කුලයටයි.

ජලාශ්‍රිත ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන අඩි 10 ක් 15ක් තරම් උසට වැඩෙන මධ්‍යම ප්‍රමානයේ ශාකයකි කරද ශාක. එක ඉත්තක පත්‍ර පහේ සිට හත දක්වා ප්‍රමානයක් පිහිටයි. හොඳින් මේරෑ පත්‍ර දීප්තිමත් තද කොල පැහැයක් ගනියි. මල් පොකුරැ වශයෙන් පිපෙන අතර අප්‍රේල් මාසයේ මල් හට ගන්නා මෙහි පලය කෙටි කරලක ආකාරයෙන් දැකිය හැකිය. ඇතුළත ඇත්තේ එක් බීජයකි. මෙම ඇට වලින් සිඳ ගන්නා තෙල චර්ම රෝග සඳහා මහඟු ගුණ ලබා දෙන බව සදහන් වෙයි. ජූලි අගෝස්තු මාස වල කරඳ ගසේ කොල හැලී යන අතර සැප්තැම්බර් මාසයේ දී දළු දැමීම සිදුවෙයි.

මඟුල් කරඳ ශාකයේ කොළ, දලු, මුල්, පොතු සහ ඇට ඖෂධ පිණිස භාවිතා වන අතර චර්ම රෝග, සෙම, මේදය, පණු රෝග, රැධිරය පිරිසිදු කිරීමේ ගුණය, ග්‍රහනි, ආම, අතීසාර වැනි රෝග සඳහා කරඳ ශාකය බහුලව යොදා ගනියි.

  • තුවාල සඳහා – මඟුල් කරඳ පොතු , අමු කහ කැබලි දෙක තුනක් දමා තම්බා ගෙන ඒ වතුරෙන් තුවාල සෝදා හරින්න.
  • තුවාල වල කොස්ස ඉවත් කිරීමට – කරඳ පොතු පොල් කිරෙන් තම්බා හොදින් අඹරා එම තලපය තුවාලයට තබා වෙලන්න.
  • තුවාල වේලීමට – මඟුල් කරඳ පොතු, වෙනිවැල්ගැට කුඩු තල තෙලෙන් සියුම්ව අඹරා එම මිශ්‍රනය තුවාලය මත ගල්වා වෙලන්න.
  • වණයක් ඇති වූ විට – මඟුල් කරඳ දලු ගිතෙල්වලින් අඹරා ගෙන එය මඳක් රත් කර ආලේප කරන්න.
  • කුෂ්ට, හොරි, වණ, දද වලට – මඟුල් කරඳ වියළි ඇට මද කොටා තල තෙල්වලට දමා සිඳ ගෙන එම තෙල ආලේප කිරීම මනා ඔසුවක් වන අතර එම තෛලය ඉතා ප්‍රශස්ථ තෙලකි.
  • විසර ගෙඩිවලින් සහනයට – මඟුල් කරඳ දලු හා පොතු ලුණු වතුරෙන් සියුම්ව අඹරා ගෙඩි වටා ගල්වන්න.
  • අර්ශස් ගෙඩිවලින් සහනයක් ලැබීමට – කරඳ පොතු නර මුත්‍රාවලින් තම්බා ගෙන එයින් නැගෙන දුම අර්ශස් ගෙඩිවලට හොඳින් වැදෙන සේ අල්ලන්න.
  • මී මැසි, බඹර, දෙබර විසට – මඟුල් කරඳ පොතු තම්බා ගන්නා ඖෂධීය ජලයට ගිතෙල් දමා බීමට දෙන්න. එම ජලයට ලුණු කැට කිහිපයක් දිය කර ජලයේ මඳ උනුසුම තිබියදී කෑ මුඛය සෝදන්න.
  • දත් කැක්කුමට සහනයක් ලැබීමට – මඟුල් කරඳ පොතු තම්බා ගත් ජලයට සහිඳ ලුණු දමා මිශ්‍ර කර මඳ රශ්නය තිබියදී මුව සෝදන්න.
  • හිස්හොරි සදහා – කරඳ කොල දෙමිටක් ගෙන කොටා එයට දෙහි යුෂ දමා මිරිකා ගන්නා ඉස්ම හිරැ එළියෙන් කකාරවා හිස ගල්වන්න.
Share