කලුකම්බේරිය (Black Nightshade | Kalukamberiya)

කලුකම්බේරිය
ශාකයේ නම කලුකම්බේරිය | Kalukamberiya
වෙනත් නම් හීං තක්කාලි, කාකාෂ්වා, කුෂ්ඨග්නි, කුෂ්ඨනාශනී, රසාවන
ඉංග්‍රිසි නම් American Black Nightshade
විද්‍ය‍ාත්මක නම Solanum americanum
කුලය Solanaceae

සිංහලෙන් කාකාෂ්වා, කුෂ්ඨග්නි, කුෂ්ඨනාශනී, රසාවන ලෙස හදුන්වනු ලබන මෙම ශාකය. ඉංග්‍රීසියෙන් American black nightshade ලෙස හදුන්වනු ලබයි. දෙමළෙන් මහත්කක්කාලයි ලෙසින්ද සංස්කෘතයෙන් කාකමාචී නාමයද කලුකම්බේරිය හදුන්වනු ලබන නාමයන් වෙයි. Solanaceae කුලයේ ශාකයක් ලෙසට උද්භිත විද්‍යාව මේ ශාකය වර්ගීකරණය කර ඇත.

සෘජු වාර්ෂික පැළෑටියක් වන මෙය 50cm – 100cm ක් පමණ උසට වැඩෙයි. කඳ සිලින්ඩරාකාරයි. ගැට අසල ඝනයි. සිනිඳු මඳ බූවක් සහිතයි. අත්‍යාපගාමී ව ශාඛනය වී ඇත. පත්‍ර තලය අණ්ඩාකාර, අණ්ඩාකාර – ලන්සාකාර යි. පත්‍ර 4cm – 10cm දික් වන අතර 2cm – 3.5cm පළලයි. තුනීයි. සුමටයි. තුඩ අති තීව්‍ර යි. එතරම් පැහැදිලි නැති නටුවකරා අවසාරීව ක්‍රමයෙන් සිහින් වේ. දාරයි. මද සුමට හෝ දන්තුර වේ. පුෂ්ප මංජරිය වෙනම ම කක්ෂීව හටගනී. මල් කිහිපයක් සහිත බහු අක්ෂියකි. නටුව මෘදුව 1cm – 2cm දිගයි. මණිය ඉතා කුඩයි. දන්තුර 5ක් ඵලයේ එතරම් විශාලව නොපෙනේ. මල් පෙති 2mm ක් පමණ දිගය. ඛණ්ධිකා ආපසු හැරී ඇත. මල් සුදු පැහැතිව පෙති 5කින් සමන්විතය. පොකුරු වශයෙන් පල දරන මෙහි ගෙඩි වටකුරුව ලා කොල පැහැයෙන් යුක්ත ව හොදින් ඉදුනු පසු ගෙඩි තද කලු පැහැයක් ගනියි. කලුකම්බේරිය ශාකයේ භාවිතා කළ හැකි කොටස් සේ සම්පූර්ණ පැළෑටියම හැදින්විය හැකිය.

ත්‍රි දෝෂ නාශකය. ප්‍රධාන කර්ම රසායන, දීපන, රේචන, වාත රක්ත, මලභේදන, ජිත්ත නිස්සාරක, ජ්වරඝ්න, කඵඝ්න, අමාවාතහර, වේදනා නාශක, ශෝථහර ආදී දෝෂ සමනය පිනිස කලුකම්බේරිය භාවිතා කරයි. ගුණ කර්මසේ
රස – තීක්ත ගුණ – ලඝු, ස්නිග්ධ වීර්යය – අනුෂ්ණ විපාක – කටුක ප්‍රභාව – විෂඝ්න සහිතවෙයි.

චිකිත්සක භාවිතයන්

ශුක්‍ර ක්ෂය, හෘද් රෝග, ශෝථ, වාත රක්ත, මී විෂ, ආම වාත, මූත්‍ර කෘච්ජ්‍ර, හික්කා, ශ්වාස, කුෂ්ඨ ප්‍රකට යෝග කුෂ්ඨයට: කළුකම්මේරිය කොළ අඹරා ආලේප කිරීම. වාතජ කාසයට: කළුකම්මේරිය කොළ මලවා ආහාරයට ගැනීම. මී විෂට: කළුකම්මේරිය යුෂ බොන්ට දීම. උන්මාදය හා ඉන්වන නිද්‍රා හානියට: කාකමාචී තෙල හිස ගැල්වීම.

කලුකම්බේරිය ගුණ

අර්ශස් රෝගය, නින්ද නොයාම, හෘද රෝග, වාත, රක්ත, සමේ රෝග වගේ රෝග රැසකට යොදාගන්නවා. විශේෂයෙන් අක්මා රෝගවලට ගොඩක් හිතකරයි. ඒ වගේම වකුගඩු ආශ්‍රිතව තිබෙන විෂ ඉවත් කිරීමත් මුත්‍රා පිරිසිදු කිරීමේ හැකියාවකුත් තිබෙනවා. යුරෝපයේ රටවල ඒ නිසා මධ්‍යසාර වගේ දේවලින් රෝගී වු අක්මාවට ප්‍රතිකාර කරන්න මේ ශාකය යොදාගන්නවා. ඒ වගේම ඉන්දියාවේ පොතු කබර ආදි චර්ම රෝග වලදී ප්‍රතිකාරයක් විදියට මේ ශාකය යොදාගන්නවා.
ක්ෂය රෝගය සදහා මේ පැලෑටියේ කෂාය යොදාගන්නවා. මී විෂ සදහාද ප්‍රත්‍යක්ෂ ඔසුවක්. මේ පැලෑටියට තියෙන රසායන ගුණයකි ශරීරයේ පටක සෛල ආදිය රැකගනිමින් තරුණ බව රැකගනිමින් සිරුර සන්තර්පණය කිරීමේ හැකියාව.

  • නින්ද නොයෑමට ප්‍රතිකාර විදියට කළුකැම්මේරිය කොළ කෂාය භාවිතා කරනවා. අතීතයේ නින්ද නොයන රෝගය තිබෙන අයගේ හිසට යටින් මේ පැලෑටියේ මුලක් තියලා නින්ද ඇති කළා කියලත් සදහන් වෙනවා.
  • ඉදිමුම් සහිත අවස්ථාවකදී ඒ ඉදිමුම් බැසීම සදහා මේ පැලෑටිය තම්බා දෙනවා. නැත්තම් මැල්ලුම් විදියට හදලා දෙනවා.
  • කුෂ්ට ආදී චර්ම රෝග වලදී බාහිර ආලේපයක් විදියට වගේම අභ්‍යන්තර ප්රතිකාර විදියටත් යොදාගන්නවා.
  • අපේ ශරීරයේ වාත පිත සෙම් කියන දෝෂ තුනම ශමනය කිරිමේ හැකියාව තියන නිසා තවත් මේ ශාකයේ වටිනාකම වැඩිවෙනවා.

මෙම ශාකයේ ඵලය ඉතා රසවත් වන අතර කුඩා ළමයින් විසින් මෙම ඉදුණු ඵලය කෑම වශයෙන්ද ප්‍රෙයා්ජනයට ගැනේ. පක්ෂීන්ගේ ප්‍රියතම ආහාරයකි. මෙහි පත්‍ර එළවළුවක් ලෙස යොදා ගැනේ. යම් යම් කොටස් ඖෂධීය වශයෙන් ගන්නා කලුකම්බේරිය ප්‍රාදේශීය වශයෙන් හීං තක්කාලි යන්න ද භාවිතා වෙනවා. සාත්තුවකින් තොරව නැවුම් පසේ හා වියළි ප්රදේශවල සරුව වැඩෙන ශාකයකි.

  • සීතල දේශගුණයත් සමඟ, වයස් භේදයකින් තොරව තොල් දිව වැනි සියුම් තැන් පිපිරීම සිදුවේ. ඉතා වේදකාරීය. එයටත් කට වණවීම වශයෙන් හඳුන්වන තොල් දෙපස සුදු පැහැයට තුවාල වීමටත් ඉතා ගුණදායකය. ඖෂධයක් වශයෙන්ම නොව, සාමාන්ය වෑංජනයක් හැටිය ද රසයෙන් ගුණයෙන් යුතු වේ.
  • මැල්ලුම, වෑංජනය, තෙල් දැමීම හා සලාදය හැටියට සකස් කරගත හැකියි. තෙල් දැමීමේදී තල තෙල් හෝ එළඟිතෙල් හෝ යොදා ගැනීම වඩාත් ගුණයෙන් යුතුයි. සලාදය සඳහා ඇඹුලට තක්කාලි යෙදීම රසවත් වුවත් ඉහත රෝගී අවස්ථාවලදී සුදුසු නොවේ.

කලුකම්බේරිය කොල ලුනුමිරිස

කලුකම්බේරිය කොල ගෙන උතුරන තෙලට දමා පාට වෙනස් නොවෙන සේ තම්බා ගෙන (බැදගෙන නෙමෙයි) ඉන්පසුව මිරිස් කරල් කිහිපයක් ගැබුරු තෙලේ බැදගන්න. රතු ලූනූ, සුදු ලුනූ, බැදගත්තු කලුකම්බේරිය කොල සහ මිරිස් හීනී වෙන තුරු මිරිස් ගලේ අබරා ගන්න. ඒකටම තක්කාලී ගෙඩියකුත් දමා අබරා ගෙන අවශ්‍ය පමණ ලුණු එකතු කරගන්න. දින කිහිපයක් වුවද තබාගෙන කෑමට ගත හැකිය.

ප්‍රාදේශීය වශයෙන් මේ ශාකය සදහා නාමයන් විවිධාකාර වන අතර කලුතැම්බේරිය, තැම්බේරිය, කලුකම්බේරිය, කම්බේරිය, කලුකැම්මේරිය ආදී නාමයන් කිහිපයක්ම මේ ශාකයට භාවිතා කරයි.

Share