මාදං (Java Plum | Maa Dhan)

මාදං
ශාකයේ නම මාදං | Maa Dhan | Ma Dan
වෙනත් නම් ජම්බු , ජාම්බව , මහාඵලා , නීලඵලා, රාජඵලා
ඉංග්‍රිසි නම් Java plum, Malabar plum, Black plum, Jamun, Jambul, Jambolan
විද්‍ය‍ාත්මක නම Syzygium Cumini
කුලය Myrtaceae
මාදං ශාකය සදහා ජම්බු, ජාම්බව, මහාඵලා, නීලඵලා ආදී නාමයන් කිහිපයක් දැක්වෙන අතර ඉංග්රීසියෙන් Black plum, Java plum ලෙසටද, දෙමළෙන් ශම්බු, නාවල් කියාද, සංස්කෘතයෙන් ජම්බු, නීලඵලා, මහාඵලා, රාජඵලා ලෙසටද හදුන්වනු ලබනවා.
 
මාදං 30 m කට ආසන්නව උසක් දක්වා වර්ධනය වන කදින් වට ප්‍රමාණ මීටර් 3 m දක්වා විශාල වන දේශීය ශාකයකි. වියළි කලාපයේ සුලභව දක්නට ලැබුනත් සෑම පෙදෙසකම වර්ධනය වන ශාකයකි මාදං. දිය පහරවල් හා වැව් ඉවුරු ආශ්රිතව දැකගත හැකිය. මාදං වැව් ඉවුරුවල වැවීමට යෝග්ය ශාකයක් බව ඉපැරණි පිළිගැනීමකි. කඳෙහි මතුපිට පොත්ත ළා කහ – දුඹුරු විය හැකිය. ඇතුලත පොත්ත ඝණකම් වන අතර තන්තුමය වේ. පත්ර තලය කහ කොළ පැහැතිය. ඉලිප්සාකාර සිට අණ්ඩාකාර ලන්සාකාර වේ. බහු අක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. කොළ පැහැති ඵලය හොඳින් ඉදුණුවිට දම් පැහැයක් ගනී. ඉදුණු ගෙඩි කුඩා දරුවන් ප්රිය කරන රසැති ගුණැති පළතුරකි. දැවමය වටිනාකම අතින් ඉහල මාදං ශාකය Myrtaceae කුලයට අයත් වෙයි.
 
මාදං හැමෝම දන්නා පලතුරු ශාකයක් වුවද ඌණ භාවිත පළතුරක් සේ හැදින්වීම සුදුසුයි. ලංකාව තුල දං ප්‍රභේද කිහිපයක්ම දක්නට තිබෙනවා. මාදං හා දඹ ලෙසින් හදුන්වනු ලබන්නේ එකම ශාකයක් බව සමහරුන් පෙන්වන අතර තවත් සමහරුන් එම ශාක දෙක එක ශාක කුලයකට අයිති ශාක දෙකක් බව කියයි. මාදං ගෙඩිය රවුමට මාංසල ගතිය වැඩි එක ලෙසටද දඹ කියන්නේ ගෙඩිය දිගැටියට මාංසල ගතියෙන් ටිකක් අඩු එක සෙ සදහන් කරන්නේ මාදං හා දඹ ශාක දෙකක් බව කියන්නො විසිනි. Syzygium ගනයට අයත් ශාක 30කට වඩා වැඩි ප්‍රමානයක් ලොව පුරාමද, ලංකාවට ආවේණික ශාක 20 ගනනාවක්ද දක්නට හැකිය.
 
දියවැඩියාව, අතීසාරය, රත්පිත්, රක්ත ප්රදර, වණ, පණු රෝග, ක්ෂය රෝගය, වමනය, කැපුම් සීරීම්, මුඛ රොග, දන්ත රෝග, ඇස් රෝග, පිලිස්සීම් වැනි රෝග අවස්ථා ගණනාවක් සඳහා ප්රතිකාර කිරීමට මාදං කොළ, දළු, පොතු, ගෙඩි, ඇට ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි. ඉතාමත් හොඳ යකඩ ප්‍රභවයක් වන මාදං වල අනෙකුත් ඛණිජ ලවන, සීනි සහ ප්රෝටීනත් අඩංගු වන බව කියැවෙනවා. ලඝු රූක්ෂ ගුණ යුත් මාදං විපාකයෙන් මධුර වන අතර ශීත වීර්ය වේ.
  • දියවැඩියාවට මාදං ඇට චූර්ණය සහ මාදං ඇට වියළා රන්වන් පැහැ වන තුරු කබලේ බැද කුඩු කර කෝපි මෙන් පානය කිරීම ගුණදායකය. එයටම මාදං පානය සහ පොතු කෂාය යෙදිය හැකිය.
  • ගෙඩි ඇට තම්බා බීමෙන් ලේ වල සහ මූත්රා වල සීනි ප්රමාණය ස්වභාවික සමතාවයකට පත් කරනු ලබන අතර අධික මූත්ර පිටවීමද වළකාලයි.
  • මාදං පොතු තම්බා ගත් කෂායෙන් කට සේදීමෙන් මුඛ රෝග රැසක් සුව වෙයි.
  • පිළිස්සුම් තුවාලවලට පොතු පුලුස්සාගත් අළු තල තෙල් සමඟ මිශ්රකර ආලේප කරයි.
  • තුවාල සේදීමට මාදං කොල , දලු තැම්බු වතුර භාවිතා කරයි.
  • රත්පිත් රෝගීන්ට මාදං කොළ කොටා ගත් යුෂ බීමට දිය හැකියි.
  • මාදං දලු යුෂ ආලේප කිරීමෙන් කැපුම් සීරුම් තුවාල ඉක්මනින් සුව වෙයි.
  • කොළ දලු යුෂ මී පැණියෙන් දීමෙන් වමනය නවතී.
  • මාදං යුෂ සමඟ තලතෙල් මිශ්ර කර සකස් කර ගන්නා තෙල් ශරීර දාහයට ආලේප කිරීමට සුදුසුයි.උණ රෝගීන් සඳහා මේ මිශ්රණයෙන් තෙත් කල රෙදි පටි නළලේ තබනු ලැබේ.
  • උපදංශ රෝගයට කොළයුෂ සමඟ සකස් කළ තෙල් සුවය ගෙනෙයි.
  • මාදං පොතු දන්තාලේප නිපදවීමට යොදා ගනී.
  • මාදං කොළවලින් නිස්සාරණය කර ගන්නා සුගන්ධ තෙල් රසකාරයක් ලෙස භාවිතා කරයි.
  • මාදං සහ අඹ සමාන ප්‍රමාන වලින් සකස් කර ගන්නා යුෂ දියවැඩියා රෝගීන්ට නිතර සෑදෙන පිපාසය සංසිඳවීමට ඉතාම සුදුසු බීමක්.
  • තරමක් අමු මාදං යුෂ ගෙන සකස් කර ගන්නා විනාකිරි ආමාෂයට ඉතාමත්ම හිතකර වෙනවා. මාදං ආහාර රුචිය ඇති කරවන කුසගිනි වඩවන අක්මාව උත්තේජනය කරන ආදී ගුණයන්ගෙන් සහිතයි.
Share